ඒකත් එක විප්ලවයක් 💪🧑‍🔧


ලෝකය පුරාම විවිධාකාර විප්ලවයන් ක්‍රියාත්මක වුණා. මේ සෑම ව්ප්ලවයක්ම ලෝකයාට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. ඒ පිලිබඳව සිතා බලද්දී අදටත් ලෝකය තුල සිදු වූ විප්ලවයන් හි ඵලය අප වෙත ලැබෙන බව සිහිපත් වෙනවා. ඉතින් මෙසේ සිදු වූ කාර්මික විප්ලවයේ ආරම්භක බලපෑම ශ්‍රී ලංකාවට බලපෑ අයුරු මෙසේය.                                              
බ්‍රිතාන්‍යයන් ඇරඹි කාර්මික විප්ලවය කෙටි කලක් තුල ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය සිතාගත නොහැක. බ්‍රිතාන්‍යයේ හා අනෙකුත් යුරෝපා රටවල සිදු වූ අන්දමේ කාර්මීකරණයක් ශ්‍රී ලංකාව තුල 19 වන සියවසේ සිදුනොවූ නමුත් කාර්මික විප්ලවයේ බලපෑම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද හඳුනා ගත හැකිය. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වූ අවධියේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවතීම මේ සඳහා හේතු වූ ප්‍රධාන සාධකයක් විය. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ මහා පරිමාණයෙන් වතු වගාව ආරම්භ කලහ. මෙසේ ආරම්භ කල තේ,  රබර්, පොල් වැනි බෝග ආශ්‍රිතව විවිධ කර්මාන්ත ඇරඹීම සිදු වූ අතර ඒවා සඳහා යන්ත්‍ර සූත්‍ර බ්‍රිතාන්‍යයෙන් ගෙන්වීය.    වතුවල හා කර්මාන්ත ශාලාවල වැඩ කිරීමට ශ්‍රමිකයන් අවශ්‍ය වූ අතර ඒවායේ වැටුපට වැඩ කල ශ්‍රමිකයන්ග්ගගෙන් කම්කරු පන්තිය බිහි විය. වතුහිමියන් හා කර්මාන්තශාලා හිමියන් ධනවතුන් බවට පත් වූ අතර ඔවුහු උගත් ධනවත් මධ්‍යම පන්තියක් ලෙස වෙනම ම සංවිධානය වූහ . ධනවාදී ආර්ථික ක්‍රමය ලංකාවේ ද වර්ධනය වූ අතර ආනයන අපනයන වෙළෙඳාම ප්‍රමුඛත්වයක් ගත්තේය. මෙම වෙළෙඳ කටයුතුවලදී මුදල් පිටරටට යැවීම,මෙරටට ගෙන්වා ගැනීම ආදී කාර්‍යයන් නිසා බැංකු ක්‍රමයක අවශ්‍යතාව ඇතිවිය. ඒ අනුව ලංකාවේ බැංකු ක්‍රමය ආරම්භ වීම සිදු විය.                                                                                                                                                                   වතු නිෂ්පාදන කොළඹ නගරයේ වෙළෙඳ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට හා වරායට ගෙන යාමටත් වතුකරයේ අවශ්‍යතා සැපයීමටත් ප්‍රවාහනය දියුණු කල යුතුව තිබුණි. මෙතෙක් භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරුණේ කරත්ත මගිනි. එය සාර්ථක ක්‍රමයක් නොවූ නිසා මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදි කෙරිණි. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ කාලයේ දී කොළඹ මහනුවර මහාමාර්ගය ඉදිකෙරිණ. ඉන්පසුව කුරුණෑගල සිට මහනුවර දක්වාත් දඹුල්ලේ සිට මහනුවර දක්වාත් මාර්ග ඉදි විය. පසුව ගල් හා තාර යොදා මහාමාර්ග ඉදි කිරීම ඇරඹුණි.  එමෙන්ම ජල මාර්ග හා ලී පාලම් වෙනුවට යකඩ භාවිතා කර පාලම් තැනීම ඇරඹුණි. දුම්රිය මාර්ග ඉදි කිරීම සඳහා හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව 1858 වර්ෂයේ දී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ග ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. එම මාර්ගය ඉදිකිරීමෙන් පසු 1867 අගෝස්තු මාසයේ දී ප්‍රථම වතාවට කොළඹ සිට මහනුවර දක්වා දුම්රියක් දාවනය කෙරිණි. ඉන්පසුව පේරාදෙණිය සිට නාවලපිටිය දක්වා 1871දීත් බණ්ඩාරවෙල දක්වා 1899දීත් දුම්රිය මාර්ග දීර්ඝ කෙරිණි.                                                                                                                                     මාර්ග හා ප්‍රවාහන කටයුතුවල වර්ධනයත් සමග වෙළෙඳ මධ්‍යස්ථානත් ඒවා පුලුල් කරගෙන නගරත් බිහි විය. ගම්පොළ, බදුල්ල, මාතලේ, රත්නපුර මේ අවධියේ ජනාකීර්ණ වූ කොළඹින් පිට නගර කිහිපයකි. මෙතෙක් මෙරට පණිවිඩ හුවමාරුව සිදු කෙරුණේ ප්‍රධාන කොටම පුද්ගලයකු අත පණිවිඩ යැවීම මගිනි. 1815 වන විට දී කොළඹ , ත්‍රිකුණාමලය , ගාල්ල , යාපනය ආදී නගර සම්බන්ධ කරගනිමින් රාජකාරි තැපැල් සේවයක් ආරම්භ කොට තිබුණි.  කොළඹ නුවර මාර්ගය තැනීමෙන් පසුව ආසියාවේ ප්‍රථම වරට අශ්ව කරත්ත ධාවනය මගින් තැපැල් සේවාවක් ඇරඹුණි . මේ ආකාරයට කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපා ඇති ආකාරය සැකෙවින් විමසිය හැක.

Comments

Post a Comment

Popular posts from this blog

ජන කවිය

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️