අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️

 අපි මිනිසුන් විදියට නිතරම කතා කරනවා. අපේ ශබ්ද වචන විදියට පරිවර්තනය වෙලා අපිට ඇහෙනවා. ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද ? ඒ සිතුවිල්ල අකුරු කළේ මේ විදියට 💛


මනුෂ්‍යයාගේ භාෂාව නිපදවන ශබ්ද යාන්ත්‍රණයට අවයව සහ චාලක පරිචය හෙවත් අවයව චලනය කිරීමේ හැකියාව දායක වෙයි. භාෂාවකට අයත් ශබ්ද පිට කිරීම සඳහා ප්‍රාචීරය, පෙනහලු, ළයෙහි පේශී, ස්වර තන්ත්‍ර, මුඛය, දිව හා තොල් ආදී අවයව සංකීර්ණ ස්වභාවයකින් සමායෝජනය වෙයි. කතාව වාතය ආශ්‍රයෙන් නිශ්පාදනය වන ආකාරය ඉතා සරලව මෙසේය.

පෙනහලුවලට නිරන්තරයෙන් වාතය ඇතුලු වේ. මෙම වාතය පෙනහලුවල සිට ස්වර තන්ත්‍ර සහිත ස්වරාලය ඔස්සේ ඉහලට පැමිණේ. එතැන් සිට මෙම වාත ධාරාව මුඛ කුහරය හා නාස් කුහරය තුල ඇති කරවන ඉඩකඩ ප්‍රමාණය සහ හැඩය පිලිබඳ වෙනස්කම් අනුව විවිධාකාර ස්වර ශබ්ද ජනිත වේ. ව්‍යංජන ශබ්ද නිශ්පාදනය කරනු ලබන්නේ ශබ්ද ආලිය තුලින් ගමන් කරන වාත ධාරාවට තාවකාලිකව බාධා ඇති කරන උච්චාරණ ස්ථාන විසිනි. ඇතැම් ව්‍යංජන ශබ්ද නිපදවීමේ දී වාත ධාරාව මුලුමනින්ම නතර වේ. P ශබ්දය ඊට නිදසුනකි .

එය නිපදවීමට තොල් එකට එක් කොට තද කිරීමෙන් වායු ධාරාව නතර කල යුතුය . දිව තුඩ ඉදිරි දත් පෙලේ පිටුපසට ගෙන ඒමෙන් T ශබ්දය ජනිත වේ. තවත් ව්‍යංජන ශබ්ද ජනිත වන්නේ වාත ධාරාව අර්ධ වශයෙන් බාධා වීමෙනි. 
මෙම ක්‍රියාවලිය තුලින් නාසික්‍ය, ස්පර්ශ සහ ඌෂ්ම යන ව්‍යංජන ශබ්ද වර්ග ජනිත වන අතර එම ක්‍රියාවලිය ආශ්‍රිත වූ දිවෙහි ක්‍රියාකාරිත්වය මත ස්වර ශබ්ද ජනිත වේ. සිංහල වැනි භාෂාවලද සරල, ස්වරක, සංයුක්ත, භ්‍රස්ව, දීර්ඝ , උච්ච, අවච හා මාද්‍ය ආදී ස්වර ප්‍රභේද රැසක් දක්නට ලැබේ.

මනුෂ්‍යයෝ දිනපතා තම ජීවිතයේ විවිධ අවස්තාවල භාෂාව භාවිතා කරති. පරිසරය, අධ්‍යාපනය සහ බුද්ධි ශක්තිය ආදී වෙනස්කම් කොතෙකුත් තිබුණද මනුෂ්‍යයන්ට භාෂාව උපාර්ජනය කිරීමට පිළිවන. ඔවුන් හැම තම භාෂාව මුලින්ම ඉගෙන ගන්නේ ළමාවියේ නොමේරූ අවදියකයි. එහෙත් ඔවුහු වයසින් වැඩෙත්ම තමන් ඉගෙන ගත් වචන විවිධ ක්‍රම අනුව භාවිතා කිරීමට ඉක්මනින් ඉගෙන ගනිති. 

මේ පිලිබඳව ගැඹුරින් කල්පනා කරන විට එය සැබැවින්ම අසිරිමත් කාර්‍ය සාධනයක් බව අපට පෙනේ. මෙම අසිරිමත් කටයුත්ත අපි හැමදාම කරමු. 


Comments

Post a Comment

Popular posts from this blog

ජන කවිය

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02