මේ පාළු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින් " ප්‍රේමය නම් කිමැයි කියා"

 මානව සබඳතා වූ කලී ප්‍රේමය හා සම්බන්ධව ගොඩ නැගෙන අන්තර් සබඳතාවක් ලෙස පෙන්වා දිය හැකිය. මානව මනෝභාවයන් අතරින් ප්‍රේමය නම් මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වේ. ප්‍රේමය තරම් හදවත ආක්‍රමණය කරන,මිනිසා සංවේදි කරන මනෝභාවයක් තවත් ඇත්ද? ප්‍රේමය සමඟ ජීවත්වන්නන්ගේ ආත්මය පිවිතුරුය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල සියොළඟ හිරිගඩු වැටෙන හිම මිටියාවතේ දැඩි ශීතයද නොදැනෙන තරම් සුළුය. එබැව් ,

සීත අරණේ සුපුල් නා මල 

සුවඳ ගැල්වූ ජීවිතේ 

සීත හිම ගිර සීත නොදැනේ 

දැනේ උණුහුම ආදරේ.....

යන පද්‍ය කොටසින් මනාව විද්‍යමාන කර ඇත.

ප්‍රේමය යන්නට නිශ්චිත නිර්වචනයක් දිය නොහැක . ප්‍රේමයේ නිර්වචනයන් එකිනෙකාගේ පෞද්ගලිකත්වය මත වෙනස් විය හැක.ප්‍රේමයට හැඩයක් දෙන්නට ලොව බොහෝ දෙනා උත්සාහ කළහ . කොරින්තිහි ලේඛකයා ද එවැනි උත්සාහයක් දරයි. 

" ප්‍රේමය සියල්ල උසුලයි "

ඇත්ත  වශයෙන්ම ජීවිතයට පැමිණෙන දුක් කම්කටොලු, සිත් රිදවීම්, අගහිගකම් යනාදි මේ සියල්ල ප්‍රේමය විසින් දරාගෙන සිටියි. මේ සියල්ල උසුලා සිටින්නට තරම් ප්‍රේමය ආත්මීය වශයෙන් ශක්තිමත් බැඳීමක් විය. මොනයම් හෝ හේතුවක් මත ප්‍රේමයේ විශ්වාසය බිඳීගිය තැන වෛර කරන්නට පවා පෙළඹීම සාධාරණ යැයි තර්ක කිරීමට  ද හැක.

ප්‍රේමයෙහි,

විශ්වාසයට ඉමක් නැත.

බලාපොරොත්තුවට නිමක් නැත.

ඉවසීමට අගක් නැත.

      කොරින්තිහි ලේඛකයා ප්‍රේමය,විශ්වාසය, බලාපොරොත්තුව හා ඉවසීම කරණ කොටගනිමින් සහසම්බන්ධතාවක් ගොඩ නගා ඇත. ඇත්ත වශයෙන්ම එය යථාර්ථවාදීය. විශ්වාස, බලාපොරොත්තු, ඉවසීම යන කාරණා තුනෙහි යදමින් ප්‍රේමය නිමවී ඇති බව අපගේ අත්දැකීම්වලින්ම පසක් කර ගත හැකිය. 

ලෝකයේ උත්තරීතර පෙම් යුවල ලෙස සිදුහත් යශෝධරා යුවල පිළිගැනෙනුයේ තර්කයන්ගෙන් තොරවය. ආත්ම ගණනාවක් ප්‍රේමයේ නාමයෙන් එක්වන ඔවුන්ගේ ප්‍රේමය අවසන් වනුයේ පිරිනිවන් පෑ මොහොතේය. යශෝධරාගේ අසීමාන්තික කැප කිරීම් හමුවේ ප්‍රේමයේ උත්තරීතර නාමයෙන් ඇයත් රාහුල කුමරුත් අත්හැර සිදුහත් කුමරු ගිහිගෙය අත්හැරියද තවදුරටත් ප්‍රේම කරමින් ඇය සිය පතිවෘතාව රැක ගනිමින් ප්‍රේමයේ බැඳීම විදහා පෑවාය.

රාධා ක්‍රිෂ්ණා පෙම් පුවතද සංස්කෘතික සාහිත්‍යයේ ශ්‍රී ජයදේව නැමති ඍෂිවරයා රචනා කල ගීත ගෝවින්දයේ එන්නකි. රාධා ක්‍රිෂ්ණාගේ ප්‍රේමය කායික සම්බන්ධයක් දක්වා දුර දිග ගිය එකකි. එසේම මොවුන් දෙදෙනාගේ ප්‍රේමය නිසාම හින්දු සංස්කෘතියේ වන්දනාමානයට පාත්‍ර වී ඇත.

රාමා සීතා පෙම් පුවතද භාරතීය සාහිත්‍යයේ එන ඉතා රසවත් පෙම් පුවතකි. ලංකේශ්වර රාවණා රජු සීතා දේවිය පැහැර ගත් පසුවත් ඇය තම සැමියා නමින් පතිවෘතා දහමෙහි පැවතිණි. රාම රජු ඇයගේ පතිවෘතාව සැක කල මොහොතේම ඇය ගිනිගොඩකට පැන්න බව ඉතිහාසය තුල සාක්ෂ්‍ය සපයයි.

කෝවලන් කන්නගී පෙම් පුවතද අප හදවත් තුලට සමීප වේ. ප්‍රේමයේ හිණිපෙත්තටම ගොස් සිටි මොවුන් දෙදෙනාගේ ප්‍රේමණීය සම්බන්ධයෙන් මිදී ගොස් කෝවලන් නාටිකාංගනාවක් සමඟ ප්‍රේමයේ රැඟුම් රගන්නට විය. කෝවලන් කන්නගී පෙම් පුවත දෙදරා යවමින් කෝවලන්ට දාව මණිමේඛලා නම් දියණියක් නාටිකාංගනාවට උපත ලබයි. මේ සියල්ල සිය දෑසින් විඳ දරා ගැනීමට තරම් කන්නගීගේ සිත කෙතරම් ශක්තිමත් විය යුතුද? ප්‍රේමයේ විරහ වේදනාව ඇය උපරිමයෙන් විඳ දරා ගනී. ඇයට නැවත විවාහයක් කරගන්නට පැවසුවද ඇය සිය පතිවෘතාව රකිමින් විරහ වේදනා දරාගනිම්න් ජීවත් වූවාය. නමුත් සිය සැමියාට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට,ඔහු වෙන ස්ත්‍රියක් සමඟ සිටිද්දී පවා සැමියාව බේරා ගැනීමට උපරිම උත්සාහ ගත්තාය. සිය වම් පියයුර කඩා පොළවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මදුරාපුරයම ගිනිලැවෙන මෙන් ශාප කල අතර එම ගිනි ලෑමෙන් දරුවන්, රෝගීන්, ගැබිනි මව්වරුන් හා සතුන් බේරන ලෙසද ප්‍රාර්ථනයක් කළේය. ප්‍රේමයේ බැම්ම පතිවෘතාවෙන්ම පෙන්වූ ඇය පත්තිනි දෙවියන් ලෙස අදටත් වන්දනාමානයට පාත්‍ර වේ. 

ශෝකාන්තයකින් කෙලවර වූ දස්කොන් - ප්‍රමිලා ආදර අන්දරය ලංකා ඉතිහාසයේ අවසාන යුගයෙන් හමුවන්නකි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතෙකු වූ දස්කොන් අධිකාරම රජ බ්සවක වූ ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳතාවක් ඇති කරගත්තේය. එය හෙලිදරව් වීම නිසා කෝපයට පත් රජු දස්කොන්ගේ හිස ගසා දැමීමට තීරණය කළේය. 

සක්මන් කරන මලුවේදී බැඳි          හාද

සිත් සතොසින් දුන් මුව මී බී           වාද

ඉක්මන් ගමන් අහො අද ඔබ   යනවාද

දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

          ප්‍රමිලා දස්කොනගෙන් විමසන්නේ එයයි. දස්කොනගේ ප්‍රේමය එයට මෙසේ පිළිතුරු දෙයි.

විසැස් රස පහස නොවිඳ                         මා

දසිස් දුනි පොරණ ඇසු දුටු පමණ           මා

වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා

මහිස් එකක් දුනි නම් ඔබ නමට        කිමා

   ප්‍රේමයේ නාමයෙන් ඔහු සිය හිස සිඳී ගියද එයත් ඇය වෙනුවෙන් කරන පරිත්‍යාගයක් සේ සලකා ඇත.

බොහෝ පෙම් පුවත් කැටයමට,කවියට,ගීතයට,සිනමාවට නැගී ඇත.එක් එක් කාලයන් තුල තිබූ ප්‍රේමය දක්ෂ කලාකරුවා තම කලාකෘති තුලින්ද ජීවමාන කලේය. ඉසුරුමුණි පෙම් යුවල, දිවි පරදුවට තබා පෙම් කල දීඝගාමිණී උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිම් කරගත් සාලිය අශෝක මාලා, කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් ලොවීනා වැනි පෙම්වතුන් අදටත් ජීවමාන සේ සිත් තුල රැඳී ඇත්තේ ප්‍රේමයේ අමරණීයත්වය නිසාමය. එසේම අදත් හෙටත් මෙවැනි පෙම් පුවත් සමාජයේ ජීවමාන විය හැක..

පරිත්‍යාගයක්; වෛරයක් යනාදී පැතිවලට දෝලනය වෙම්න් ප්‍රේමය ගලායන්නේ සීමා වැට කඩුලු අභිබවාය.....

       


 සටහන - යසාරා









Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජන කවිය

කැමරාකරුවෙකුගේ ඇසකට_____________02

අපේ කතාවේ හුස්ම හැදෙන තැන.♠️